සියතින් ම දෙණ සදමි, ජීවිතය මම නුඹට හිනැහෙමී




















වසර ගණනාවක් පුරා වීදිය නිවහන කොට ගත් තරුණයෙකු ඇද වැටුණු ගසක හිස් බිලයක් තුළ මිය යමින් සිටියදී බේරාගන්නා ලදී     - පුවතක්



ගිම්හානයේ සීතල
ගැරඬියෙකු වගේ ඇවිදින්
අචල තාපික නොවන හදවතක්
සදා ගන්නැයි කියා කියනකොට,

දරනු බැරියෙන් විකල් වන සිහිය
අම්මා ගෙ ගැබ කෙතෙක් උණුසුම් ද
උප විඥානගත මතකයේ
කුළුදුල් ම ස්මෘතිය සොයා යයි

ශූණ්‍යය අනන්තව හිඳිණ කළ
මිනිසෙකුට නම් නොහැක තනියෙන්ම
බොල් පුරා ජීවිතය පුරවන්න
පියලි දෙකකට හදක් තැනෙන්නේ
තව මිනිස් හදක් ළඟ පෑහෙන්න

සියතින් ම වල කපා වැළලෙන්න
බිමක් නැත්තෙන් සිතන්නට බැරිය
යාතිකා ඇසුණු දෙවියෙකු පැමිණ
මා නිසා ගසක් බිම හෙලූව ද
ඒ ගසේ කුස පුරා
වැතිරෙන්න හිස් තැනක් මැවූව ද

දෙ පෙති හද සීතලට බරවේය

දැව මුවා දෙණක සුව
පණ පිටින් විඳින්නට පේවෙමී
අම්මාගෙ කුස ය මේ සිතාගෙන
පා ගසන්නේ නැතිව
නො රිදෙන්න සීරුවට සැතපෙමී

සංවේගදායී - ගිම්හාණ හිම වැස්ස
කල් පිරී ඇත බිමට පැමිණෙන්න
ඉදින් මේ තුරු බිලය  නො හිස් වේ

මා නිසා හිස් තැනක් පිරී යේ

2013

© Subhadra Jayasundara