ශල්‍යාගාරයේ දී නො දුටු සිහිනය


















ශල්‍යාගාර දොර සද්දන්තය
හරියට,
බැක්ටීරියා සහ වයිරස්
පලවා හරින්නට මෙනි
එපිට කාමරය තුළ
සුපහන් ගුප්ත බවකි
සියලුම බිත්තීන් සහ හිස් තැන්
සිහිනමය ප්‍රසියන් නිලකින්
සේදී තිබිණ

මට නියමිතව තිබූ සයනය
දිගු ය, සිහිනි ය

ශල්‍යාගාර සයනයත්,
ගිලන් ඇඳත්, මරණ මංචකයත් අතර
එක්තරා පොදු බවක් තිබේ
ඒ, ඒ සියල්ලම
ජීවිතය පිළිබඳ පැතුමක්
දරා සිටිනා බැවිනි

මේ සිහින් සයනය මත
මා මගේ අවසාන සිහිනය දකින්නේ නම්
අන්තිම කැමැත්තක, කැමැත්ත
එහි තිබිය යුතුම ය

සිහිනයක බර නිවැරදි ව දැනෙන්නේ
මරණය ට අභිමුඛ වීමේ දී පමණි

හුස්ම ගැනීමට දරන,
ශල්‍යාගාර උත්සාහය අබිමුව
සියලු සළු උනා දැමිය යුත්තාක් මෙන් ම
සියලු සිතුවිලි මුදා හරිමින්
නිරුවත් විය හැකි යි
ඔබට සිතෙන්නට පුළුවන

අවමන් දැරූ සිතිවිලි
කුසුමන් ලෙසින් ඇතිරුණු
සිහිනයක් තිබෙන්නට ද  පුළුවන

එහෙත් මම
සිහිනයකින් තොරව ම
නැගී සිටියෙමි

කාලය යනු භාවිතයක් යැයි කියා
නිර්වින්දිත අන්තර් කාලය
නො ගිණිය හැකි නො හැක්කේ
මා නො පැවති ඒ  මොහොත තුළ
තවකෙකු ගතකර ඇති
දයාබර චලනයන් නිසාය

ජීවිතය සතු දුක්ඛය
ඒ කාල පරාසයට අයිති කළ හැකිනම්
දුකින් මිදීමේ කෙටිම මාර්ගය
නිසැකවම එය විය හැක

2012

© Subhadra Jayasundara