කිසිවෙකුටත් කියන්නට නොහෙන රහස් ගත් මිනිසුන් ඒවා ගස් බෙනයන්ට
කොඳුරා කියා බෙනය මැටියෙන් තර කර වසා රහස සදාකාලික කළ බව පැරණි චීන කතා වල සඳහන් වේ.
ශූන්‍ය ගර්භයක ගැඹුරත
පුරවමින් දුක තදින් තරකොට
දෝංකාරය නවතමින්
සදාකාලික ජීවිතය පවරා ලමී
තුංග තුරු බඳ
හිස් බෙනය සොයමින් යමී
වනස්පති විහිදයි හරිත පෙම රුක්වනින්
සිඹිමි බිම හුන් එපා වූ පත් දෙතොලගින්
රහස ගෙන පිරිමැද බලා
රහසින්ම යලි සඟවලා
හුස්ම ගන්නා බව පුරුදු ලෙස දැනගමී
කුස රඳන කළලයක් සේ දරමින් පෙමින්
මතු මතුත් හෙළි නොකර ඉන්නට දිව්රමින්
සෙවූ බිලයක් කොහි ද රුක් දෙවි
නැද්ද මිතුරෙකු වැළඳගත්තැකි
හුදෙකලාවේ දැවෙන කපුරු ව වැගිරෙමී
උස් පහත් වන ළය නිම්න මැද
හද බෙනය සිහි වීය සකිසඳ
රැඳෙන්න ට හැකි උරිස් මත්තෙන්
මහ මුහුද ගොඩ ගලයි සද්දෙන්
අස්වැසුම් උණුසුම් අතර දරුවෙකු වෙමී
ජීවිතය දෑසින් රැගෙන දෑසට දෙමී
රහසක් වෙතොත් තනිවම දරන හදකට
සැතකින් අනියි සිහිනය ඇවිත් හවසට
මිය ගිය දිනෙක සිහිනය සදා තනිකොට
සකිසඳ එකම නෑයා නුඹයි රහසට
2011
© Subhadra Jayasundara