නොපැවැත්මක ඒකාත්මය


















ඔහු බුද්ධ
දුක දිනා ප්‍රඥාව පිහිටුවා
අග්නි සමඟ ම ජලය මවන්‍‍නේ
සූර්යයා වී අසිරි ‍ගෙ‍නෙන්‍‍නේ

පුතුන් දුන් ඇය මවකි
නින්දාව දරන්නී
කිඹුල්වත වස්සාන නුරාවේ
පතුල් පහස ම ලබා සැන‍සෙමින්
අවතැන් වු පුරා සඳ වලප්නී

දිය ද ගින්න ද දෙමින් ඔහු ඇයට
නිවී සැන‍්නහෙන්න යැයි දෙසුවාද

අනුරාග රඟ රඟන
අනුරාග ශිව සිරස
ගිණි ගන්න දිය රැ‍ඳේ
දිය‍වෙනා ගිණි සමඟ
ප්‍රතිවිරෝධය ප්‍රභා මණ්ඩලය
සිත් ‍පෙලන දේවතා වරයක් ය

මෘදු බවට ගිණි තියා
පාර්වති හද දවා.......
දැවෙන හද පුන් සඳක පැහැය දැක
දිය ඉසියි ශිව නැවත අතර මැද

නියතයක් විලාසෙන් ලැව් ගින්න
අමරණීයව රැඳුණු කල්පයක
කිහිරඟුරු මත කුසුම් පළඳවන
මේ නියත සෘතුවයි නුඹ පැමිණ

අලු මතින් ජීවිතය සදන්නට
හිරු එළිය සමඟින් ම වැසි ඒ ය

මල් ‍රෙ‍හෙණු යලි දැවෙණු පෙරාතුව
නුරා දී රඟන්නට රේණුවට
සහස් මොණරුන් සඇස් ඇහැරවා
කුසුම් මේ නිමේෂය.......
නිමේෂයකට උනත් ඵල ගන්න

ජලය මතුපිට අග්නි රඳවන්න
බුදුන් ‍‍දෙවියන් නුඹට කුමකට ද
නග්න දෑසක විදුලි රේඛාව
නුඹ වෙතින් නුඹ වෙත ට හරවන්න

නම ‍නොදත් වර්ණයම
ඉන්ද්‍රචාපය වේද
නො පැවැත්ම පැවැත්ම ම කරගන්න
නිමේෂය සදාකාලික වේද

2011

© Subhadra Jayasundara